WELCOME TO PORTO OPENCART

reading.lk

Navigation
media

        20 වැනි ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය 2018 - දශක දෙකක ජාතික මෙහෙවරක


        ලාංකික සාහිත්‍ය සම්මාන වංශයේ අඛණ්ඩව පවත්නා දීර්ඝතම සම්මානයක් වන්නේ රාජ්‍ය සාහිත්‍යය සම්මානයයි. 1957 ඇරඹි මේ සම්මානය සමඟින් ලාංකික සාහිත්‍යයේ  නව කඩඉමක් සනිටුහන් වූ අතර සාහිත්‍යය ජනතා ප‍්‍රසාදයකට නතුවීම කෙරෙහි ද යහපත් ලෙස බලපෑ කරුණක් විය. එයට පෙර 1955 දී ‘දොන් පේදිරිස් සම්මානය’ නමින් සම්මානයක් පිරි නමා ඇති අතර එය ගුණදාස අමරසේකරට හිමි වූ බවත් සම්මාන ඉතිහාසයේ සනිටුහන්ව තිබේ. එම සම්මානය වසර කීයක් පැවතියේද? එමගින් බුහුමනට පත්වූ අන් කලාකරුවන් කවුරුන්ද යන්න පිළිබඳ වැඩි විස්තරයක් සොයා ගැනීම අසීරුය.

1957 න් පසු කාලය තුළ දී රාජ්‍ය සම්මානයට විකල්ප සාහිත්‍ය සම්මාන උත්සාහයන් කිහිපයක් වුවත් එ්වා ‘ජාතික සාහිත්‍ය සම්මානයක්’වෙනුවෙන් ගත් උත්සාහයන් නොවුණු අතර සිංහල සාහිත්‍ය කෘති වෙනුවෙන් පමණක් හෝ, ඉංග‍්‍රීසි කෘති හෝ දෙමළ කෘති හෝ ලෙස වෙන්කොට පිරිනැමූ සාහිත්‍ය සම්මාන වන අතර එ්වා අඛණ්ව පවත්වා ගත් බවක් නොපෙනේ.  ඒවා වසරක් හෝ වසර කිහිපයකින් පසු අත්හැරුණු උත්සාහයන් විය.  

දිගු කාලයක් පවත්නේ නමුත් රාජ්‍ය සාහිත්‍ය සම්මානය කිසියම්  ඕලාරික සාහිත්‍ය ප‍්‍රමිති නිර්මාණයක නිරතවෙමින් ලාංකික සාහිත්‍යයේ නිදහස් විකාශයට බාධාවක් බව පෙනීයන්නට වූයේ නව සාහිත්‍ය විධි අත්හදා බලමින් ඉදිරිපත් වූ නව සාහිත්‍යය නොතකා සම්මාන තීන්දුවල නිරත වීම නිසාය. එය තරුණ සහ විකල්ප ධාරාවේ නිදහස් චින්තකයින්ගේ අවධානයට ලක්වීමේ හේතුවෙන්  කිසියම් ආකාරයක විකල්ප සාහිත්‍ය සම්මානයක අවශ්‍යතාව ඉස්මතු කෙරිණ. එහි ආරම්භය ලෙස 1993 දී විභවි සංස්කෘතික මධ්‍යස්ථානය මුල්කොට ‘ස්වාධීන සාහිත්‍ය සම්මානය’ නමින් සිංහල සහ දෙමළ භාෂිත ලාංකික සාහිත්‍ය නිර්මාණ අගයා සම්මාන දීමේ වැඩපිළිවෙලක් ආරම්භ විය. මෙහි විශේෂත්වය වන්නේ එ් වනවිටත් සිංහල, ඉංග‍්‍රීසි සහ දෙමළ ලෙස වෙන් වෙන් ව උත්සව තුනක් ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මාන උත්සවය පැවැත්වූ නමුත් ස්වාධීන සාහිත්‍ය සම්මානය, දෙමළ සහ සිංහල මාධ්‍යයෙන් පළ කළ සාහිත්‍ය නිර්මාණ අගයමින් එකම උත්සවයක දී සම්මාන අගැයීමකට පාත‍්‍ර‍්‍ර කිරීමයි. එම විකල්පය සාහිත්යික සමාජය තුළ ඇති කළ බලපෑම කෙතරම්ද යත් ඉන්පසු රාජ්‍ය සම්මානයට ද ‘ජාතික’ වන්නට සිදු විය. රාජ්‍ය සම්මාන උත්සවය භාෂා ත‍්‍රිත්වයට එකම අවස්ථාවේ සම්මාන පිරිනමන සැබෑ ජාතික උත්සවයක් වූයේ මින් පසුව ය.

ජයතිලක කම්මැල්ලවීර ප‍්‍රවීණ කෙටිකතාකරුවාගේ මූලිකත්වයෙන් පැවැත්වූ මෙම සම්මාන උළෙලේ වගකීම් පවරා ගත් අය අතරින් විභවිහි ලේකම් වූ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් කැපී පෙනිණ. එවකට තරුණ වියේ සිටි මෙම ලියුම්කරු ද එහි මුල් සාකච්ඡුාවන්ට සහභාගී වූ අතර චන්ද්‍රුප්ත තේනුවර විසින් සකස් කරන ලද සම්මාන ආකෘතිය අනුමැතිය දුන් සාකච්ඡුාවද නියෝජනය කළේය. එම යුගයේ විකල්ප සාහිත්‍යයක් වෙනුවෙන් කැපවූ තරුණ සාහිත්‍යකරුවන් රාශියක් මේ වටා එක්ව සිටියහ. රාජ්‍ය සම්මානයෙන් නොතකාහළ සාහිත්‍ය කෘති මෙහිදී වැඩි වශයෙන් සම්මානයට පාත‍්‍ර වීම විශේෂයක් විය. මේ සම්මාන ඇගැයීම විසින් සාහිත්යික සමාජය තුළ අතුරණ ලද විශ්වසනීය උත්තේජනය හේතුවෙන් සිංහල සාහිත්‍යයේ නව මානයක් ගොඩ නැංවිණ.  වසර හතක් අඛණ්ඩව පැවැති මෙම ජාතික සාහිත්‍ය සම්මානය 2000 වසරින් පසු අත්හැර දැමූවත් එම කාලය තුළ රාජ්‍ය සම්මානයට අදාළ සමීක්ෂක තීන්දු දැඩි අභියෝගයකට ලක්කිරීම වැදගත්ය. නවකතාව සහ කෙටිකතාව සම්බන්ධයෙන් නව පරාමිතීන් හඳුන්වා දිමට සමත් වූ ස්වාධීන සාහිත්‍ය සම්මානය හේතුවෙන් සිංහල සාහිත්‍යයේ නව පිබිදීමක් ඇති වූ බව පිළිගැනේ. සාහිත්‍ය නිර්මාණකරුවන් අතර නිදහස් කලාවක් පිළිබඳ සිහිනයක් පැතිරෙන්නට විය.

මේ කාලය, විභවියට ද විකල්පයක් ලෙස බිහිවීමේ අපේක්ෂාවක් දැරූ සාහිත්‍යධරයන් කිහිපදෙනෙකු තමන්ගේ අපේක්ෂාව සාධනය කරගනු වස් මෙවැනි කාර්යයක් අඛණ්ඩව පවත්වා ගත හැකි මුල්‍ය ශක්තියක් පරීක්ෂාවට ලක් කරමින් සිටි යුගයයි. එසේම එම යුගය ‘ගොඩගේ ප‍්‍රකාශන’ වටා රටේ කීර්තිමත් ලේඛකයින් ගොනුවෙමින් ද සිටි යුගයයි. එමනිසා පළමුව ‘ගොඩගේ ප‍්‍රකාශන’ මුල්කොට ‘ගොඩගේ සාහිත්‍ය සම්මානය’ නමින් විකල්ප සාහිත්‍ය සම්මානයක් ආරම්භ විය. එ් 1998 දී ය. මේ සම්බන්ධයෙන් එහි මුල්ම සංවිධායක මණ්ඩලයේ සිටි ටෙනිසන් පෙරේරා මහතා සතුව ඇති මතකය මෙවැන්නකි.

‘‘ගොඩගේ ආයතනය මැදිහත් කරගනිමින් සාහිත්‍ය සම්මාන උලෙළක් පැවැත්වීමේ අදහස මුලින් ම මා වෙත දැන්වූයේ සේන තෝරදෙනිය මහතායි. ඔහුගේ එම යෝජනවාට මං එක පයින් එකඟ වුණා. ඉන්පසු අප දෙදෙනා මෙවන් උලෙළක් සඳහා අනුගමනය කළ යුතු ක‍්‍රමවේදය කුමක් විය යුතුදැයි වරින්වර සාකච්ඡුාවට ලක් කළා. පවතින රාජ්‍ය සම්මාන උලෙළට වඩා අර්ථවත් ලෙස එය කළ යුතුය යන්න අපේ අදහස වුණා. එ් අනුව ප‍්‍රථමයෙන් පාඨක ඡුන්දයෙන් පොත් තෝරා ගැනීම සුදුසුයයි සිතා එ් වෙනුවෙන් කූපනයක් හඳුන්වා දුන්නා. එය පුරවා ගොඩගේ ආයතනයේ තබා ඇති පෙට්ටියක තැන්පත් කිරීමට අවස්ථාවක් දුන්නත් එය අසාර්ථක වුණේ වසරට අදාළ ව කෘති ඉදිරිපත් කළ ලේඛකයින් ම කූපන් අහුරු පිටින් පුරවා පෙට්ටිය පිරවීම නිසා ය. ඉන්පසු අප එය අත්හැර මෙහෙයුම් මණ්ඩලයක් මගින් පොත් තෝරා ගත්තා. 

සමීක්ෂණයේදී ලේඛකයින්  සමීක්ෂක මණ්ඩලය ඉදිරියට කැඳවා ඔවුන් ඉදිරිපිටම විවෘතව කෘති පිළිබඳ සමාලෝචනයක යෙදුණා. මෙයින් එම ලේඛකයින්ට සිත් වේදනා ඇති වුවත් ඔවුන්ට සමීක්ෂකයින් ප‍්‍ර‍්‍රශ්න කිරීමටත් අවස්ථාවක් තිබුණා. එහිදී තේරීම අගතිගාමියි මෙහෙයුම් කමිටුවට දැනුණේ නම් සමීක්ෂකයාගේ තින්දුව වරණය කිරීම පිළිබඳ තීන්දුවක් ගැනීමේ බලයක් මෙහෙයුම් කමිටුවට තිබුණා. එසේම සම්මාන නිර්දේශයන් සමඟ කෘති පිළිබඳ සමීක්ෂකයාගේ වාර්තාවක් ලබා දීම අනිවාර්ය කොට තිබුණා. විශේෂය වන්නේ මෙම සම්මාන උළෙලේ අර්ථපතීත්වය දරන සිරිසුමන ගොඩගේ මහතා සම්මාන තීන්දුවලට කිසිදු බලපෑමක් නොකිරීමයි. එහෙත් සාහිත්‍යකරුවන් ලෙසින් පෙනී සිටි ඇතැම් බලලෝභී පුද්ගලයින්ගේ ඇවිස්සීම නිසා අප වසර දහයක් පමණ කළ ව්‍යාපාරය අතහැර දමන්නට සිදු වූවා. එහෙත් මෙය අදටත් තනි පුද්ගලයකුගේ අර්ථපතිත්වයෙන් පවත්වා ගැනීම විශේෂයෙන් අගය කළ යුතු අනගි සාහිත්‍ය මෙහෙවරක් බව කියමි...’’

ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානයේ ඉතිහාසය පිළිබඳ අනෙක් සාක්ෂිකරුවා ප‍්‍රවීණ ලේඛක/විචාරක සේන තෝරදෙනිය මහතායි. ඔහුගේ කාර්යය විකල්ප සාහිත්‍ය සම්මානයක් යෝජනා කිරීමකින් නොනැවතී එ් වෙනුවෙන් සාධනීය මිනුම් දඬු යෝජනා කිරීමත් එ්වා සාර්ථකව අත්හදා බැලීමත් කරා දිවෙයි. අදටත් ගොඩගේ සම්මානය ඇසුරේ සමාප්ති සටහනක් මුද්‍රණය කෙරෙන්නේ ඔවුන්ගේ මැදිහත්වීම අදටත් වලංගු බව දක්වමිනි.  අපට ඔහුගේ ලිඛිත අදහසක් ලබා ගැනීම අසීරු වූ නමුත් ඔහු සහ ගොඩගේ සම්මාන උලෙළ අතර පවතින බන්ධනය අදටත් ලෙහී නොමැත.

කෙමෙන් සිය භාවිතාව ජාතික සාහිත්‍ය සම්මානයක් දක්වා විකාශනයට භාජනය වෙද්දී ගොඩගේ සම්මානය, රාජ්‍ය සාහිත්‍ය සම්මානයට විකල්ප සාහිත්‍ය සම්මානයක් පමණක් නොව ලංකාවේ අධිපතිවාදී සාහිත්‍ය කතිකාවට ද විකල්පයක් ලෙස වැඩෙන්නට විය. සම්ප‍්‍රදායික මිණුම් දඬු පසෙකලා කෘති ඇසුරෙන් ඉස්මතු කෙරෙන සාහිත්යික ප‍්‍රවණතා හඳුනා ගනිමින් නව සාහිත්‍යයක් වෙනුවෙන් මහන්සි වීමට එහි සමීක්ෂකයෝ දැඩි වෙහසක් ගත්හ. එ් වෙනුවෙන් ඔවුන් දැක්වූ උනන්දුව බලවත් ය. එනිසා කතුවර නාම නොව වසරට අදාළව විශිෂ්ටත්වක් දක්වන කෘති ඉහළට ගෙන දැක්වීමේ නව උත්සාහයක ඉඟි ද දක්නා හැකිවිය.

ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය ඉතා ඉක්මනින් සාහිත්යික සමාජය අතර ජනප‍්‍රිය වන්නට වූ අතර ලාංකික සාහිත්‍යයට නව සාහිත්‍යකරුවන් හඳුන්වා දෙන වැඩබිම බවට ද පත්විණ. සමහර වසරකදී දැඩි සාහිත්යික තීන්දු ගැනීමට පෙළඹුණ සමීක්ෂක මණ්ඩල එහි ක‍්‍රියාත්මකව තිබිණ.

2007 වසරේ සිංහල කවිය අරභයා බලවත් කතිකාවක් ඇති කරමින් ප‍්‍රවීණ කාව්‍යක්කාරයන් අභිබවමින් එවර ගොඩගේ කාව්‍ය සම්මානයට පාත‍්‍ර වූයේ ආධුනික කවියකු වූ ලක්ශාන්ත අතුකෝරළයි. ‘අමාවකේ  සඳක් සිඹිමි’ නම් වූ එම කාව්‍ය කෘතිය සම්බන්ධයෙන් පුවත්පත් සාහිත්‍ය පිටු සංස්කාරකයින් සහ ප‍්‍රවීණ සාහිත්‍යධරයන්ගේ උදහස් අදහස් පළ කරමින් එම තීන්දුව විවේචනය කරන්නට වූහ. එහිදී ඔවුන් තර්ක කළේ එම වසරේ කාව්‍ය ග‍්‍රන්ථ ඉදිරිපත් කළ ප‍්‍රවීණයින් අභිබවා යාමට තරම් ලක්ශාන්තගේ කවිය මෝරා නැති බවකි. නමුත් ලක්ශාන්ත කඩඉම සිංහල සාහිත්‍ය වංශයේ කඩඉම් ලකුණක් බව දක්වමින් එ් මඟ යන නව කවි පෙරහැරක් බිහි වු අතර ඔවුහු ප‍්‍රවීණ කවියන්ට අභියෝගයක් වෙමින් විකල්ප ධාරාවේ සාහිත්‍ය බුහුමන් ලබන්නට වූහ. පසුව ලක්ශාන්තගේ මෙන් ම ඔහුගේ පරපුරේ අයගේ කෘති මඟහැර යාමට රාජ්‍ය සම්මාන සමීක්ෂකයින්ට නොහැකි විය. එ් අනුව බලද්දී කවිය විෂයයෙහි නව මතවාදයක් ඇති කිරීමට සමත්කමක් ගොඩගේ සම්මාන තීන්දුහි රැුඳී තිබිණැයි කිව හැකිය.

පසුකලෙක මෙම ආධ්‍යාශය රළු සමීක්ෂක තීන්දු බවට අර්ථ කථනය කෙරෙන පසුබිමක් කරා ගමන් කළ බව අපට දැනේ. අදාළ වසරේ සිංහල කාව්‍ය සංග‍්‍රහ අතර සම්මානයට පාත‍්‍ර කළ හැකි කිසිදු කෘතියක් නැතැයි යන විවාදාපන්න තීන්දු දෙකක් 2011 සහ 2012 වසරවලදී ගෙන තිබිණ. එම තීන්දුව සේ ම 2006 සහ 2012 වසරවල සම්මානයට සුදුසු කිසිදු නවකතාවක් නැතැයි යන නිගමනයන්ට එළැඹීම ද සාහිත්යික සමාජය සසල කළ තීන්දු ලෙස කැපී පෙනේ. මෙම තත්ත්වයන් සමාජය තුළ ඇති කරන ලද පීඩනය කුමක් වුවත් සම්මාන පිරිනැමීම වෙනුවෙන් අර්ථපති දායකත්වය මිස සම්මාන සමීක්ෂක තීන්දු කෙරෙහි තමාගේ කිසිදු බලපෑමක් නැති බව දක්වමින් ගොඩගේ ආයතනය නිහඬව සිටිමින් ප‍්‍රතිපිළිතුරක් වේ නම් එය සමීක්ෂකයින්හට පවරා තිබිණ. මෙම තීන්දු ඇසුරේ සිංහල සාහිත්‍යය පිළිබඳ නව සංවාදයක් සාහිත්යික සමාජයේ ඇති වූ බව අපට මතකය. තීන්දුවේ නිවැරදිභාවය කුමක් වුවත් සිංහල සාහිත්‍යය පිළිබඳ ඇති කළ සංවාදය එහි විකාශයට මනාකොට දායක වූ බව නොරහසකි.

මේ සියලූ අභියෝගයන් අතරේ 2012 සිට සිංහල දෙමළ සහ ඉංග‍්‍රීසි මාධ්‍යයට අයත් කෘති සම්මානයට පාත‍්‍ර කරමින් ‘සැබෑ ජාතික සාහිත්‍ය සම්මානයක්’ ලෙස බෞතීස්ම වීමට තරම් බලවත් සාහිත්‍ය මැදිහත්වීමකට අවස්ථාවක් උදා කර ගැනීමට සමත් වීම ගොඩගේ පකාශකයන් ලද විශිෂ්ට ජයග‍්‍රහණයකි. ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය යටතේම 2006 වසරේ සිට ජ්‍යෙෂ්ඨ ලේඛක ප‍්‍රණාමයක්ද ආරම්භ කෙරිණ. ළමා නිර්මාණයෙහි නිපුන් ප‍්‍රවීණ ලේඛිකා සිබිල් වෙත්තසිංහයන් උපහාර ප‍්‍රණාමයට ලක් කරමින් ඇරැුඹි මෙම සද්කාර්යය අදවන විට භාෂා ත‍්‍රිත්වයටම අදාළ කොට ‘දිවමන් ප‍්‍රණාම’ නමින් පවත්වා ගෙන යනු ලබයි. එමගින් ප‍්‍රණාමයට ලක්වූ ප‍්‍රවීණ සාහිත්‍යධරයන්ගේ නාම ලේඛනය දිගු  එකකි.

මේ සියල්ල අතරේ වසර විස්සක අඛණ්ඩ ජාතික මෙහෙවරක නිරත ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය, සිය සාහිත්යික ජීවිතයේ අගනා සලකුණක් බව සලකන නිර්මාණකරුවන් පිරිස ද විශාල ය. තමන් ලද පළමු ජාතික සාහිත්‍ය සම්මානය ලෙස ගොඩගේ සම්මානය ලබා අද වනවිට රාජ්‍ය සම්මානය, විදුදය සම්මානය මෙන් ම රජත සහ ස්වර්ණ පුස්තක සම්මාන කරා ද පිය මැන ඇති ලේඛක නාමාවලිය නොතකා සිටිය නොහැකි තරම් බලවත් එකකි.

එ් අතර සිටින ලක්ශාන්ත අතුකෝරාළ, යසේන්ද්‍ර රණවක, මංජුල වෙඩිවර්ධන, රාජා කරුණාදාස, ගුණසේකර ගුණසෝම, ප‍්‍රියාන් ආර් විජේබණ්ඩාර, මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල, ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න, සුහර්ෂනී ධර්මරත්න, ගුණරත්න වික‍්‍රමගේ, අජිත් කල්‍යාණ අමරසිංහ, ඉසුරු චාමර සෝමවීර, සංජීවනී කස්තුරි ආරච්චි, බන්දුල පී දයාරත්න, රුවන් බන්දුජීව, ආරියතිලක පීරිස් ආදීන් අතර සිටින මෙම ලියුම්කරු ද සිය පළමු ජාතික සාහිත්‍ය සම්මානය ලෙස (2009* ලබන්නේ ගොඩගේ සම්මානයකි.

මෙවන් යුගයක සාහිත්‍ය සම්මානයක් වෙනුවෙන් සිය පුද්ගලික ධනය වැය කිරීමට සිතීමත් විස්මයකි. ඉතා පහසුවෙන් අත්හැර දැමිය හැකි මේ වියදම්කාර උත්සාහය වෙනුවට සිරිසුමන ගොඩගේ සහ නන්දා ගොඩගේ යුවළ ළං කරගෙන සිටින්නේ ආත්මීය වටිනාකමක් වියහැකි වුවත් දුෂ්කර මාවතකි. ඔවුනට දිරියක් වනු පිණිස සහාය වන ග‍්‍රන්ථ සමීක්ෂකයින්ද, ඔවුනගේ ආයතනික කාර්ය මණ්ඩලය ද පුවත්පත් ඇතුළු විද්‍යුත් මාධ්‍යයන් ද මෙම විසි වසර තුළ දැක්වූ දායකත්වය නොවන්නට මෙවැනි දීර්ඝ ගමනක් සිහිනයක් පමණක් වනු ඇත. ගොඩගේ ආයතනය මෙන් ම මේ සියලූ පාර්ශ්වකරුවන් වටිනාකමක් ගණනය කළ නොහැකි අගනා සමාජ මෙහෙවරක කොටස්කරුවන් බව නොකිව මනා ය.

විසිවෙනි වසරට පිය මනින ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය, තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජඹී, ලාංකික සාහිත්‍ය වංශයේ අගනා සිහිවටනයක් වනු නියතය.  


අනුරසිරි හෙට්ටිගේ


  • Sep 28, 2018
  • Comments: 0

Comments: 0

No comments

Leave a Reply

Your email address cannot be published. Required fields are marked*