WELCOME TO PORTO OPENCART

reading.lk

Navigation
media

ඉන්දික ගුණවර්ධනගේ නව කතාව, 'සුළි මැද පිපි තඹර' අති සාර්ථක දෙවන වරටත් කියවමින් සිටිමි. මේ නවකතාව පුරා අන්ද්‍රේ ගෝර්ස්ගේ letter to D හි හමුවන ඩොරීන්ගේ "පිරිමි දේවල් ඉවර කරන විදිහ දන්නේ නැහැ" නම් වැකිය දෝංකාර දෙමින් ඇත. වත්මන් සමාජයේ පුරුෂ ලිංගයේ ශක්තිය, එහි ආධිපත්‍යය තවත් පැතිකඩක් ඔස්සේ විවර කරන මේ වියමන හරහා වත්මන් නවකතාව පිළිබද නව කියවීමක් ද ලබා ගත හැකිය.

වර්තමානය දේශපාලනය ආර්ථික තලය බවටත් ආර්ථිකය දේශපාලනය බවටත් විතැන් වූ ගෝලීය-ලංකා නව යුග නිමේෂයක සංස්කෘතිය නම් වූ අඩවිය නව හෙජමොනික තර්කනයක් තුළින් යළි සැකසෙමින් ඇත. පාර තාක්ෂණය සමග අත්වැල් බැඳගත් වත්මන් විනෝද මාධ්‍ය කර්මාන්තයේ බිහිසුණු ආක‍්‍රමණය විසින් කලාව හා කියවීම අතර වූ සජීවී මිනිස් බන්ධනය සුන්බුන් කර දමා කලා-සාහිත්‍ය ආදර්ශයන් නටබුන් වූ කාලයක් තුළ අඩස්සිගත කෙරෙයි. මෙම අන්තරායට මුහුණ දෙන මූලිකම සාහිත්‍ය කලා ශානරය වන්නේ නවකතාවයි.

නවකතාව නම් වූ ශානරයේ ඇරඹුම හා නැගීම කලාකාමී සිත්වල පහළ වූ අපූර්ව සංකල්පනාවක් නොවේ. ඉයන් වොට් නම් න්‍යායවේදියා ලියූ ‘නවකතාවේ නැගීම’ (The Rise of the Novel) නම් වියමනේ දක්වා ඇති පරිදි නවකතාව නම් ආකෘතික ව්‍යුහය හා ධනවාදී සමාජයේ පුද්ගලත්වයේ ඉරණම අතර පැහැදිලි සම්බන්ධයක් හඳුනාගත හැකිය. ඊට පෙර පැවති පුරාතන මිථ්‍යා ආඛ්‍යාන සම්ප‍්‍රදායෙන් ඛණ්ඩනය වූ ශානරයක් ලෙස නවකතාව මතු වූයේ සිය සමාජ දෛවය සමග අරගල කරන නූතන මිනිසාගේ යථාර්ථවාදය ඉන් පිළිඹිබු කෙරෙන නිසාය.

නවකතාවේ කේන්ද්‍රීය ප‍්‍රශ්නය වන්නේ එහි ව්‍යුහය හා පවත්නා ඓතිහාසික සමාජ කොන්දේසි අතර වන සම්බන්ධතාවයයි. නොඑසේනම් ඒ දෙක අතර වන තෙරපුම හා ගැටුමයි. නවකතාවේ රිද්මය හා භාෂා රටාව, චරිත ගොඩනැංවීම, චරිතවල හැගීම් හා කි‍්‍රයාකාරකම් පළකෙරෙන ආකාරයන්ගෙන් නවකතා ව්‍යුහය ගොඩනැගේ. ඒ අනුව ලියැවෙන ඕනෑම රසවත් කතාවක් නවකතාවක් නොවිය හැකිය.

නවකතාව නම් වූ ශානරය හා යථාර්ථවාදය අතර වන සුසංවාදය නවකතා කලාවේ මධ්‍ය අක්ෂයයි. යථාර්ථයේ ප‍්‍රබන්ධමය මානය හා ආත්මයේ අභ්‍යන්තරික සීමා අතර වන සම්බන්ධය පිළිබද සමකාලීන දෘෂ්ටිවාදී විචාරයන් නවකතාව ඇතුඵ සාහිත්‍ය කලාවන් විශ්ලේෂණය කිරීම සඳහා යෙදවීමේ දී කලාවේ යාථාර්ථවාදය පිළිබඳ ඓතිහාසික කියවීමක් අවශ්‍ය කෙරේ. අද දවසේ සිංහල නවකතාව හා සාහිත්‍යය මුහුණ දෙන ප‍්‍රබලතම අභියෝගය මෙයයි. වානිජ ධනවාදයේ ඒකාකාරී දෛනිකත්වය හා පරිභෝජන විනෝද මාධ්‍ය දැන්වීම් කලාව විසින් නවකතාව නම් වූ මාදිලිය ක‍්‍රමක‍්‍රමයෙන් අතුරුදහන් කරමින් ඇති යුගයක අප උත්සාහ කළ යුත්තේ නවකතාව හා සහෘදයා අතර නව මිනිස් සම්බන්ධයක් ගොඩනැගීම වෙනුවෙනි. ඒ සඳහා නවකතා කලාවේ නිර්ණායක ඓතිහාසික සමකාලීනත්වය තුළ තබා කියවමින් සාහිත්‍යමය යථාර්ථවාදය පිළිබඳ සංවාදය යාවත්කාලීන කළ යුතුව ඇත.

ඉන්දික ගුණවර්ධනගේ , 'සුළි මැද පිපි තඹර' ඒ සදහා කදිම එළඹුමකි.

- සමන් ජයකොඩි

  • May 12, 2018
  • Comments: 0

Comments: 0

No comments

Leave a Reply

Your email address cannot be published. Required fields are marked*